විද්‍යාව හා බුදු දහම බ්ලොග් අඩවියට පිවිසි ඔබ සාදරයෙන් පිළිගනිමි. හිතවත, සියලු ආගම් එකයැයිද, සියල්ලෙන්ම කියැවෙන්නේ හොද නරක පමණක් යැයිද, අපායත් දෙව්ලොවත් ඇත්තේ මෙලොව යැයිද අඥාන මිනිසුන් විසින් වහසි බස් දොඩනු අප අසා ඇත. සියලු දේ විද්‍යාවෙන් මනින්නටත් විද්‍යාව, වන්දනා කිරීමටත් විද්‍යාව යන වචනයෙහි තේරුමවත් නොදත්තෝ උත්සාහ කරති. පාලුගෙයි වළං බිදින ලෙසින් ආගම දහම ගැන කිසිවක් නොදත් අ‍නෙක් මිනිසුන් මුව අයා බලාසිටිමින් ඔවුන් වීරයන් කරති. පොත පතක් කියවා අබ ඇටයක් තරමින්වත් මනස වර්ධනය කරගත්තවුන් සිටීනම් මෙවන් අනාර්ය වූත් අනර්ථ වූත් කතිකාවන් නොකරති. විද්‍යාව යනු බුදු දහම ඉදිරියේ හිමාලය අසල ඇති අබ ඇටයක් තරම්වත් නොගිණිය හැකි ශිල්පයක් බව දහම අවබෝධ කරගත්තෝ දනිති. යමක් විද්‍යාවෙන් ඔප්පු නොවන්නේ විද්‍යාව දුර්වල නිසා මිස බුදු දහමේ අඩුවක් නිසා නොවේ. එහෙත් පහත් මානසිකත්වය ඇත්තන්ට සත්‍යය දැනගනු වස් මෙවන් වෙබ් පිටුවක් නිර්මාණය කලෙමි. බුද්ධිමත් ඔබද මෙ කියවා සත්‍යය දැකගන්න. මෙහි ඇත්තේ උපුටාගත් ලිපිය. එය උපුටා ගත් ස්ථානය ඒ ඒ ලිපිය අවසානයේ පැහැදිලිව සටහන් කර ඇත. විද්‍යාව හා බුදු දහම සම්බන්ධව ලියැවුන ලිපි එක්තැන් කිරීම මෙහි අරමුණ වේ.

Friday, January 13, 2012

මෙය ලෝක විනාශය ගැන ලියූ ප්‍රබන්ධයක් නොවේ



මායා කැලැන්ඩරය නිමා වීමෙන් පසුව භෞතිකවාදීන්ගේ හා වෙනත් මතවාද, අනාවැකි දරන්නන්ගේ නිගමන අනුව 2012 ලෝක විනාශයක් සිදුවෙත්දැයි බොහෝ දෙනා සැක පහළ කර සිටිති. සමහරු බිය වී සිටිති.
බුද්ධ භාෂිතය වන්නේ ද ලෝක විනාශයකට අවශ්‍ය කරන සාධක පහ සම්පූර්ණ වූ පසු ලෝක විනාශයක් සිදුවිය හැකි බවයි. එබැවින් මේ පිළිබඳ කතිකාවක් ගොඩනැඟීම කාලීන අවශ්‍යතාවක් ව පවතී.
බුදු දහමේ මේ පිළිබඳ දක්වා ඇති සංකල්ප ගැඹුරෙන් විග්‍රහ කරමින් ශාස්ත්‍රපති චාමික මුණසිංහ බුදු ඇස විදු ඇස හා හෙට ලොව නමින් ග්‍රන්ථයක් සම්පාදනය කර තිබේ. ඒ පර්යේෂණ කෘතියත්, ‘තරු පොකුරු’ ගී සරණියත් හෙට (12) පස්වරු 3.00 ට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී ජනගත වීමට නියමිත ය.
ශාස්ත්‍රපති චාමික මුණසිංහ, මාගේ දේශය අවදි කරන හඬ, පිරිත් ස්වරය, අපේ ධර්ම කතිකාවත, ගෙදර බුදුන් අම්මා හා විස්මිත විශ්වය සිසාරා වැනි ශාස්ත්‍රීය ග්‍රන්ථ රැසක් රචනා කළ නිරන්තර ශාස්ත්‍රීය පර්යේෂණයන්හි නිරත වන ශාස්ත්‍රාභිලාෂියකු වන අතර, ඔහු මේ නවතම ග්‍රන්ථ ද්විත්වය එළිදැක්වීමත් සමඟ ම ‘සාහිත පොත් පියස’ නමින් පොත් ප්‍රකාශනයට ද අවතීර්ණ වී තිබේ.



ලෝක විනාශය පිළිබඳ බොහෝ මතවාද මේ වන විට ගොඩනැඟෙනවා. ගෞතම බුද්ධ භාෂිතය, අටුවාචාරින් දුටු කල්ප විනාශය, අනාගත වක්තෘවරු දුටු ලෝක විනාශය වගේ ම භෞතිකවාදීන් දකින ලෝක විනාශයත් මීට ඇතුළත්. ඔබේ ‘බුදු ඇස, විදු ඇස සහ හෙට ලොව‘ කෘතිය මඟින් මේ මත පිළිබඳ තුලනාත්මක විග්‍රහයක් සිදු කරනවා ද?
අප මේ ගත කරන්නේ මහා භද්‍ර කල්පයක. මේ භද්‍ර කල්පයේ අන්තඞ කල්ප පහක් තියෙනවා. මේ අන්තඞ කල්ප පහ ඇතුළත බුදුවරු පහක් පහළ වෙනවා. හැම බුදුවරයකුට ම අනන්‍යතාවක් තියෙනවා. කකුසඳ, කෝණාගම, කාශ්‍යප කියන බුදුවරුන්ගේ යුගයේ සලකුණු අපට හමුවෙන්නේ නැහැ. අන්තඞ කල්පයක් අවසානයේදී ඒ බුද්ධ රාජ්‍ය සම්පූර්ණයෙන් අභාවයට යනවා.
ගෞතම බුද්ධ කාලය වර්ෂ 5000 කට පස්සේ සියලුම සලකුණු සමඟ නැතිව යනවා. සමහර බුදුවරු ප්‍රාර්ථනා කරනවා තමන්ගේ පරිනිර්වාණයෙන් පස්සේ සියලු ධාතු විසිරිලා යන්න කියලා. එහෙම ප්‍රාර්ථනාවක් කළ මේ කාලවකවානුවේ බුදු කෙනෙක් විදියට හමුවන්නේ කෝණාගම බුදු හිමියන් පමණයි. කෝණාගම බුදුන්ගේ නටබුන් අපට ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමුවෙලා තියෙනවා. උදාහරණයක් විදියට බෙල්ලන ඤාණවිමල හාමුදුරුවෝ ලියපු අශෝක ටැම් ලිපිවල ධර්මාශෝක රජතුමා පවා කෝණාගම බුදු හිමියන්ගේ ස්තූපයකට වන්දනාමාන කළ බව සඳහන් වෙනවා.
අපි මේ ගෙවන්නේ හතරවන අන්තඞ කල්පය. මේ හතරවන අන්තඞ කල්පය අවසානයේත් මෛත්‍රි බුද්ධ උත්පත්තියක් සිදුවන කාලය අතරේත් සත්ත්ව විනාශයක් වෙන්න පුළුවන්. එතකොට ගෞතම බුද්ධ ශාසනයේ සලකුණු 05 ක් අතුරුදන් වෙනවා. සංඝ සමාජය, ධාතූන් වහන්සේලා, සියලු සද්ධර්මය ආදිකොට ගෙන සියලු ධාර්මික දේ අතුරුදන් විය යුතුයි.

එතකොට ඔබ මෙහිදී විශේෂ අවධානය යොමු කරන්නේ ගෞතම බුද්ධ භාෂිතය පිළිබඳව ද?
මම මගේ විශේෂ අවධානය යොමු කරන්නේ ත්‍රිපිටකයේ සඳහන් කරුණු පිළිබඳවයි. උදාහරණයක් විදියට අග්ගන්‍ය සූත්‍රයේ ලෝක විනාශය ගැන කියනවා. අනාගත වංශ දේශනාව කියලා අපි හඳුනන්නේ චක්කවත්ති සිහනාද සූත්‍රයේ එන කරුණු. චක්කවත්තී සිහනාද සූත්‍රයේ දී බුදුන් වහන්සේ පැහැදිලිව කියලා තියෙනවා මෛත්‍රී බුදුන් පහළ වෙන්නේ කොයි කාලෙ ද, කොහොමද පහළ වෙන්නේ, මෛත්‍රී බුදුන් කියන්නේ මොන වගේ කෙනෙක් ද ආදි වශයෙන් බොහොම සරල ව පැහැදිලි ව ත්‍රිපිටකයේ තියෙනවා. ත්‍රිපිටකය අමතක කරලා මහායාන අදහස් ඔළුවට ගත්තහම තමයි අපි අවලෝතිකේෂ්වර බුදුවරු, සමන්ත භද්‍ර බුදුවරු වැනි විවිධ බුදුවරුන් හඳුනා ගන්නේ. නමුත් ත්‍රිපිටකයේ පැහැදිලි ව තියෙනවා අපේ අනාගත වක්තෘවරයෙක් ඉන්නවා, ඒ තමයි මෛත්‍රී බුදුන් වහන්සේ කියලා.

අද සමාජයේ බොහෝ දෙනා හුරු වී සිටින්නේ පුද පූජා ඇදහිලි සහිත මහායාන ධර්මය පිළිපදින්නයි. එබැවින් ලෝක විනාශය පිළිබඳ ෙථිරවාදි මතය යට ගොස් විවිධ මිථ්‍යා මතවාද ගොඩනැඟෙන බව පෙනෙනවා.
අද බොහෝ දෙනාගේ මනසේ මිථ්‍යා විශ්වාස පැළපදියම් වෙලා තියෙනවා. උදාහරණයක් විදියට මායා කැලැන්ඩරය 2012 - 12 - 21 න් අවසන් වීම, ඒ වගේම ඉන්කා කැලැන්ඩරය, නොස්ට්‍රඩාමුස්ගේ අනාවැකි ආදි දේවල් හා බටහිර ලෝකයේ අනාගත වක්තෘවරුන්ගේ අනාවැකි වැනි දේ නිසා 2012 න් පස්සේ ලොකු සමාජ විපර්යාසයක් වන බවට විශ්වාසයක් ගොඩනැඟිලා තියෙනවා.
ඔවුන් එය අර්ථකථනය කරන්නේ ලෝක විනාශයක් ලෙසින්. මේ අදහස් ෙථිරවාදි හා මහායාන බුදු දහම ඇතුළත විග්‍රහ වෙන්නේ කොහොමද කියන එක මම මේ කෘතියෙන් සාකච්ඡා කළා. ඒ වගේම මේ මතය ඉස්ලාම් දහමේ, හින්දු දහමේ, කිතුනු දහමේ විග්‍රහ වන්නේ කොහොමද කියන එක මම කෘතිය ඇතුළේ සාකච්ඡා කළා. ඒ වගේම මම නාසා ආයතනය මේ සම්බන්ධයෙන් දරන මතය, විද්‍යාඥයන් මේ ගැන දරන මතය ආදියත් මෙහිදී විමසිල්ලට භාජනය කළා.

භෞතිකවාදින් ලෝක විනාශය සම්බන්ධයෙන් දරන මතය පිළිබඳ ඔබ කවර අදහසක් ද දරන්නේ.
ඇත්තටම භෞතික වාදීන් ගැන අපිට ලොකු විශ්වාසයක් තියන්න බැහැ. ඔවුන් අද කියන දේ හෙට වෙනස් කරනවා. උදාහරණයක් විදියට අපි මේ සියවස පුරා පිළිගත්තා අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය. ආලෝකයේ වේගයට වඩා කිසිම වස්තුවකට වේගයෙන් ගමන් කළ නොහැකි බව අපි මෙතෙක් පිළිගත්තත්, පසුගිය දවසක සොයා ගත්තා ආලෝකයේ වේගය ඉක්මවන වස්තූන් ලෝකයේ පවතිනවා ය කියලා. ඒ හින්දා විද්‍යාඥයෝ කියන මතවාද එක හෙළා අපට පිළිගන්න බැහැ. බුදු දහමේ තිබෙන බොහෝ දේ විද්‍යාවෙන් තහවුරු වෙනවා තමයි. එහෙත් විද්‍යාවයි බුදු දහමයි කියන්නේ පැහැදිලිව දර්ශන දෙකක්.
ඒ අතරේ ආතර් සී. ක්ලාක් වගේ විද්‍යාඥයෙක් බුදු දහමේ තියෙන හරයන් පැහැදිලිව දැක්කා. පෙරදිග හා බටහිර විවිධ මතවාද දැරුවත් සිදුවිය යුත්තේ සහ වන්නේ එකම දෙයයි. ලෝකය නිර්මාණය වන්නේ හා විනාශ වන්නේ එකම විදියකටයි. මගේ මතය මේ කාලයේ සත්ත්ව විනාශයක් විය හැකියි. බුදු හාමුදුරුවොත් විවිධ තැන්වල එහෙම කියලා තියෙනවා. උදාහරණයක් විදියට මිනිසුන්ගේ අධර්මිෂ්ට ක්‍රියා හේතුවෙන් මේ බඹයක් පමණ ශරීරයේ තමයි, මේ ලෝකයේ විනාශය හා උප්පත්තිය තියෙන්නේ කියලා බුදුන් වහන්සේ දේශනා කළා. එතකොට බඹයක් පමණ වන මේ ශරීරයෙන් මිනිස්සු කරන කියන දේවල් අනුව තමයි මේ විනාශය සිදු වන්නේ. දැන් ඇමරිකාවේ ඒ විනාශය ආරම්භ වෙලා තියෙනවා. මධ්‍යම ඇමරිකාවේ විසු මායා වරුන්ගේ අදහස අනුව ඇමරිකාවට ලොකු විනාශයක් වෙන්න පුළුවන්. ඔවුන් කළ අදිමිටු ක්‍රියාවලට ප්‍රතිඵල ලැබෙන බව දැනටම පෙන්නුම් කෙරෙනවා. පෙරදිග ලෝකයට කෙසේ වෙතත් බටහිර ලෝකයට නම් ඒ වගේ දෙයක් වීමේ ප්‍රවණතාවය වැඩියි.

ඔබ මේ පර්යේෂණය ඇතුළත ඔබේ අදහස් සාධනය කරගැනීම සඳහා භාවිත කළ මූලාශ්‍ර මොනවා ද?
ඉස්ලාම් ආගම ගත්තහම සුන්නි, ෂියා නිකායන් දෙකම පිළිගන්න මතවාදයක් තමයි කුරාණය. කුරාණය වගේම ඉස්ලාම් භක්තිකයන් පිළිගන්නවා ලෝක විනාශයට පෙර සිදුවන සංසිද්ධි මාලාවක්. උදාහරණයක් විදියට ගත්තහම මැදපෙරදිග කලාපෙ බෙදීමක් ඇති වෙනවා ය යන්න. ලෝක විනාශයට පෙර සිදුවන සත්ත්ව විනාශය ආරම්භ වෙන්නේ සිරියාවෙන් කියලා ඔවුන් විශ්වාස කරනවා. දැන් සිරියාව ළඟටම ලෝක විනාශය ඇවිල්ලා තියෙනවා. අනාගතයේ වෙන විපත් ගැන ඔවුන්ගේ පෙර නිමිති ගණනාවක් තියෙනවා. මේවා අද දවසේ පෙර නිමිති එක්ක පෙළ ගස්වලා බැලුවහම ඔවුන් කියන සත්ත්ව විනාශයේ සලකුණු මතුවෙලා තියෙනවා. මම මේ ග්‍රන්ථය ඇතුළත 2001 සිට 2011 දක්වා සියලුම අදාළ පුවත්පත් වාර්තා එකතු කොට තිබෙනවා. විද්‍යාත්මක පර්යේෂණ වාර්තාත් මෙහි ඇතුළත්. බයිබලය, කුරාණය, ත්‍රිපිටකය ආදියේ තියෙන මූලාශ්‍ර, චිරන්තන හා නූතන මතවාද මේ කෘතියේ ඇතුළත්. මේක ප්‍රබන්ධයක් නොවෙයි. ශාස්ත්‍රීය පර්යේෂණයක්.

මේ කෘතියේ එක් තැනක කොසොල් රජු දුටු සිහින දහසය නූතනයට සම්බන්ධ කර තිබෙනවා. එය ඔබ භාවිත කර තිබෙන්නේ ඔබේ නිගමනය සනාථ කර ගැනීමේ මෙවලමක් ලෙසයි.
අපි දකිනවා මේ කාලය වන විට මේ කොසොල් රජු දුටු සිහින එකින් එක ක්‍රියාත්මක වන හැටි. මේ සිහින අතර එක් සිහිනයක් තිබෙනවා, අනාගතයේ පතිකුලයට යාමට තරම් වයස පූර්ණය නොවුණු ළාබාල වියේ පසුවන දරුවන් විවාහ වී දරුමල්ලන් ලබන. මම පුවත්පත් වාර්තාවක දුටුවා විවාහ වයස් සීමාව වයස අවුරුදු 15 ට අඩු කිරීමේ යෝජනාවක් ගැන. අඩු වයස් ගැබිනියන්ගේ වර්ධනයක් මේ කාලයේ ඇතිවෙලා තියෙනවා. මම මේ සියල්ල එකින් එක සනිදර්ශිතව ඔප්පු කරනවා. ඒ නිසා මෙය ප්‍රබන්ධයක් නොවෙයි. මහා සුපින ජාතකයේ දැක්වෙන මේ සිහින එකින් එක මේ වන විට සනාථ වෙමින් යනවා.

ජාතක කතා නිර්මාණාත්මක සාහිත්‍යාංගයක් විදියටයි ගණන් ගැනෙන්නේ. එහි එන කරුණු ශාස්ත්‍රිය වශයෙන් සත්‍ය මූලාශ්‍ර සේ ගත හැකි ද?
ජාතක කතා සාහිත්‍ය ප්‍රබන්ධයක් ය කියන එක බොහෝ දෙනාගේ පිළිගැනීම. නමුත් මේවා බුද්ධ භාෂිත වශයෙන් හඳුන්වන අයත් ඉන්නවා. අපි සාමාන්‍යයෙන් ජාතක කතා පොත කියලවත් කියන්නේ නැහැ. ජාතක කතා පොත් වහන්සේ කියලයි කියන්නේ. ජාතක පොතේ සඳහන් සමහර දේවල් ත්‍රිපිටකයේත් අපට හමු වෙනවා. මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් සමහර දේවල් ජාතක කතාවල අඩංගුයි. උදාහරණයක් විදියට මහා සුදස්සන සූත්‍රය ගන්න. එහිදී සඳහන් වෙනවා බුදු හාමුදුරුවෝ තමන්ගේ අවසාන කාලයේ කුසිනාරා නුවරදී පරිනිර්වාණය සිදු කරන්නේ ඇයි කියලා. පෙර ආත්මවලදීත් මම මගේ ශරීරය හැර ගියේ කුසිනාරාවේදී කියලා බුදු හාමුදුරුවෝ පවසනවා. කල්ප විග්‍රහය ගැන, උපමාවලියක් ඇසුරෙන් බුදුන් වහන්සේ විග්‍රහ කරනවා. එවැනි දේ ජාතක කතාවලත් හමු වෙනවා. ඒ නිසා මූලාශ්‍රයක් වශයෙන් ජාතක පොත ගැනීම අප්‍රයෝජනවත් කියලා කියන්න බැහැ.

බෙල්ලන ඤාණවිමල හිමියන් සමඟ සාකච්ඡා කොට ඔබ සම්පාදනය කළ ‘විශ්මිත විශ්වය සිසාරා’ කෘතිය ඔබට මේ පර්යේෂණය සඳහා පිටුබලයක් වන්නට ඇති. මේ සඳහා එහිමියන්ගෙන් ලැබුණු මඟපෙන්වීම පිළිබඳ කතා කළොත්?
විද්‍යාව හා බුදුදහම පිළිබඳව ඇතැඹුලක් සේ දැනුම ඇති යතිවරුන් අතරින් ප්‍රමුඛයා වන්නේ බෙල්ලන ඤාණවිමල හිමිපාණනුයි. උන්වහන්සේ සමඟ සාකච්ඡා කොට මා ලිපි මාලාවක් සම්පාදනය කොට තිබෙනවා. විද්‍යාව හා බුදුදහම පිළිබඳ හැදෑරීමට මා සිතේ කැමැත්තක් ඇතිවුණේ උන්වහන්සේ නිසයි. ත්‍රිපිටක කරුණු අරගෙන දිගටම ශාස්ත්‍රීය පර්යේෂණ කරන්න කියලා උන්වහන්සේ මා පෙලඹවූවා. පර්යේෂණයන්හි කාලීන බව ගැන උන්වහන්සේ නිතර පැවසුවා. ඇත්තටම උන්වහන්සේ මට මේ සඳහා කළ මඟ පෙන්වීම අනර්ඝයි.

2012 වසරේ ලෝක විනාශයක් වෙතැයි බොහෝ අය බය වී සිටිනවා. මේ වෙළෙඳපොළ අවශ්‍යතාවය වෙනුවෙන් ඔබ මෙවැනි පොතක් කළා යැයි කවරකු හෝ චෝදනා කළොත්?
මේ පොත කියවන ඕනෑම කෙනකුට තේරේවි මේ පර්යේෂණය මම කරන්නේ අද ඊයේ නොවෙයි කියලා. මා මෙය පටන් ගත්තේ 2001 වසරේ. මීට වසර 10 කට කලින්. කාලීන මාතෘකා 80 ක් යටතේ ලියැවුණු මේ ග්‍රන්ථය එක රැයකින් ලියන්න පුළුවන් එකක් නොවෙයි. දීර්ඝ කාලීන ශාස්ත්‍රීය ගවේෂණයක ප්‍රතිඵලයක්. මෙහි සඳහන් මූලාශ්‍ර මාසයකින් දෙකකින් සොයා ගත හැකි ඒවා නොවෙයි. අනෙක මම පොත් ලියලා මුදල් උපයන්නෙක් නොවෙයි. මා කළ පොත් වලින් ලැබෙන සියලු මුදල් මා වැයකොට ඇත්තේ සමාජ සුබසාධන කටයුතු සඳහායි. මම කවදාවත් වෙළෙඳපොළ වෙනුවෙන් ලිව්වේ නැහැ.

‘බුදු ඇස, විදු ඇස සහ හෙට ලොව‘ (ලෝක විනාශයට පෙර දැක්මක්) කෘතිය සමඟ ‘තරු පොකුරු’ නමින් ඔබේ ගී පද සරණියකුත් නිකුත් වෙනවා. ඒ සමඟ ම ඔබ ‘සාහිත පොත් පියස’ නමින් පොත් ප්‍රකාශනයටත් අවතීර්ණ වෙනවා.
ශාස්ත්‍රීය වටිනාකමකින් යුත් සමාජයට මෙහෙවරක් කරන පොත් ‘සාහිත පොත් පියස’ හරහා නිකුත් කරන්න මම ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. රැල්ලට ලියැවෙන නවකතා හෝ හරසුන් දේ මේ මඟින් ප්‍රකාශනය කරන්න මගේ කිසිම බලාපොරොත්තුවක් නැහැ.
‘තරු පොකුරු’ ගී සංග්‍රහය පසුගිය දශකය පුරා මා ලියු ගී පද මාලා පනහක එකතුවක්. වරින්වර මා වේදිකා හා ටෙලිනාට්‍ය, කැසට්පට, ගුවන් විදුලිය, රූපවාහිනී වැඩසටහන් සඳහා ලියු ගී මෙහි ඇතුළත්.


1 comment:

Unknown said...

ඔයාගේ කථාව ඇත්ත.. දිගටම බ්ලොග් එක කරන්න. ඒ වගේම මේකෙ වර්ඩ් වෙරිෆිකේශන් අයින් කරන්න........ කොමන්ට්ස් දාන්න එපා වෙනවා. ඔබට ජය!

Post a Comment

Free HTML Blog 4u