විද්‍යාව හා බුදු දහම බ්ලොග් අඩවියට පිවිසි ඔබ සාදරයෙන් පිළිගනිමි. හිතවත, සියලු ආගම් එකයැයිද, සියල්ලෙන්ම කියැවෙන්නේ හොද නරක පමණක් යැයිද, අපායත් දෙව්ලොවත් ඇත්තේ මෙලොව යැයිද අඥාන මිනිසුන් විසින් වහසි බස් දොඩනු අප අසා ඇත. සියලු දේ විද්‍යාවෙන් මනින්නටත් විද්‍යාව, වන්දනා කිරීමටත් විද්‍යාව යන වචනයෙහි තේරුමවත් නොදත්තෝ උත්සාහ කරති. පාලුගෙයි වළං බිදින ලෙසින් ආගම දහම ගැන කිසිවක් නොදත් අ‍නෙක් මිනිසුන් මුව අයා බලාසිටිමින් ඔවුන් වීරයන් කරති. පොත පතක් කියවා අබ ඇටයක් තරමින්වත් මනස වර්ධනය කරගත්තවුන් සිටීනම් මෙවන් අනාර්ය වූත් අනර්ථ වූත් කතිකාවන් නොකරති. විද්‍යාව යනු බුදු දහම ඉදිරියේ හිමාලය අසල ඇති අබ ඇටයක් තරම්වත් නොගිණිය හැකි ශිල්පයක් බව දහම අවබෝධ කරගත්තෝ දනිති. යමක් විද්‍යාවෙන් ඔප්පු නොවන්නේ විද්‍යාව දුර්වල නිසා මිස බුදු දහමේ අඩුවක් නිසා නොවේ. එහෙත් පහත් මානසිකත්වය ඇත්තන්ට සත්‍යය දැනගනු වස් මෙවන් වෙබ් පිටුවක් නිර්මාණය කලෙමි. බුද්ධිමත් ඔබද මෙ කියවා සත්‍යය දැකගන්න. මෙහි ඇත්තේ උපුටාගත් ලිපිය. එය උපුටා ගත් ස්ථානය ඒ ඒ ලිපිය අවසානයේ පැහැදිලිව සටහන් කර ඇත. විද්‍යාව හා බුදු දහම සම්බන්ධව ලියැවුන ලිපි එක්තැන් කිරීම මෙහි අරමුණ වේ.

Wednesday, January 11, 2012

විද්‍යාව හා බුදු දහම

තන්තු, ඉලෙක්‌ට්‍රොaන ආදිය මත ගොඩනැඟෙන ආකෘතිවල නිගමන අපේ පංචෙන්ද්‍රියන්ට ගෝචර වන්නේ ය යන්න සියලු දෙනාට ම බලපාන ප්‍රකාශනයක්‌ නො වේ. ඒ ආකෘති ගැන දැනගැනීමක්‌ නොමැති ව ඉන් නිගමන ලබාගැනීම පිළිබඳ දැනුමක්‌ නොමැති ව එමෙන් ම ඒ නිගමන පංචෙන්ද්‍රියන්ට හසු කර ගන්නේ කෙසේ ද යන්න පිළිබඳ දැනුමක්‌ නොමැති අයකුට ඒ නිගමන පංෙච්න්ද්‍රියන්ට ගෝචර වන්නේ නො වේ. ඒ සියලු කටයුතු ගැන නො දන්නා අයකු, ඒ පිළිබඳ පුහුණුවක්‌ නො ලැබූ අයකු ඒ කිසිවක්‌ පංචෙන්ද්‍රියන්ට හසු කර නො ගනියි. දුරේක්‍ෂයකින් අහස බලා මන්දාකිණියක අහවල් අහවල් වර්ගවල තාරකා ඇති බව හා ඒ තාරකාවෙහි ප්‍රේක්‍ෂාවලිය ඒ ඒ ආකාරයෙන් ය යන්න දැනගැනීම, ඇතැම් වස්‌තුවල රක්‌ත වික්‍ෂිප්තය මැන ගැනීම, ඇතැම් වස්‌තු සැබෑ වස්‌තු නො ව ගුරුත්වජ කාච මඟින් ඇති කෙරෙන ප්‍රතිබිම්බ බව දැනගැනීම ආදිය ඕනෑ ම අයකුට කළ හැකි දේ නො වේ.

ඒ තබා සාමාන්‍ය ජීවිතයේ දී මේ නෙලුම් මලක්‌ ය, මේ ඕලු මලක්‌ ය ආදී වශයෙන් හඳුනාගැනීම ද ඕනෑ ම අයකුට කළ හැකි දෙයක්‌ නො වේ. ඒ සඳහා පුහුණුවක්‌ ලබාගත යුතු ය. නෙලුම් මලක්‌, ඕලු මලකින් වෙන් කර හඳුනා ගැනීමට එතරම් පුහුණුවක්‌ අවශ්‍ය නො වේ. එහෙත් ඉහත සඳහන් නිගමන පංචෙන්ද්‍රියන්ට හසු කර ගැනීමට අවුරුදු ගණනාවක පුහුණුවක්‌ අවශ්‍ය වෙයි. බොහෝ විට එවැනි කටයුතුවල නිරත වීමට පශ්චාත් උපාධි පුහුණුවක්‌ අවශ්‍ය වෙයි. ඒ සඳහා පාසල් අධ්‍යාපනයේ සිට ගණන් බැලූ කල අඩු ම තරමින් අවුරුදු විස්‌සක පමණ පුහුණුවක්‌ ලබාගත යුතු ය. ඒ පුහුණුව නො ලැබූ අය කරන්නේ එලෙස පුහුණුවක්‌ ලැබූ අය කියන දේ විශ්වාස කිරීම පමණකි.

බටහිරයන් ප්‍රත්‍යක්‍ෂයක්‌ ගැන කතා කළ ද ප්‍රත්‍යක්‍ෂයෙන් ඒ සියල්ල කෙසේ වෙතත් ඉන් යම් ප්‍රමාණයක්‌ දැනගන්නා අය ඉතා අල්ප වෙයි. ඒ අල්ප මාත්‍ර වූ පිරිසට සමාජයේ අති විශාල පිළිගැනීමක්‌ දෙනු ලැබ ඇත. ඒ පිළිගැනීම ලබා දී ඇත්තේ බටහිර විද්‍යාව, තාක්‍ෂණය හා අවසානයේ දී බටහිර දේශපාලන බලය මඟිනි. ඒ පිළිගැනීම මත පදනම් ව කෙරෙන ප්‍රකාශ විශ්වාස කිරීමට අන් සියල්ලෝ ම බැඳී සිටිති. එනම් එසේ බැඳී සිටින ලෙස ඔවුන්ට සමාජයෙන් බල කෙරෙයි. ඒ බල කිරීම අප නොදැනුවත් ව ඉතා සියුම් ව කෙරෙන්නකි. අප මෙහි දී මතක තබාගත යුත්තක්‌ ඇත. ඉහත සඳහන් නිගමන පංචෙන්ද්‍රියන්ට ගෝචර වන කිහිප දෙනාට වුව ද සෘජුව ගෝචර නො වන බව ය. ඔවුන් ඒ ගෝචර කරගන්නේ වක්‍රව විවිධ උපකරණ යොදාගනිමින් පමණක්‌ නො ව විවිධ ප්‍රවාද ද උපයෝගී කරගනිමිනි. තාරකාවක අහවල් අහවල් මූල අංශූ ඇතැයි කිසියම් විද්‍යාඥයෙකු නිගමනය කරන්නේ ඒ තාරකාවෙහි එම මූල අංශු දැකීමෙන් නො වේ. තාරකා විද්‍යාඥයා තාරකාවෙහි ප්‍රේක්‍ෂාවලින් ලබාගෙන එය නිරීක්‍ෂණය කර (ඒ සඳහා තව තවත් ප්‍රවාද අවශ්‍ය වෙයි) ඒ අනුසාරයෙන් තාරකාවෙහි අහවල් අහවල් මූල අංශූ ඇතැයි නිගමනය කරයි. තාරකා විද්‍යාඥයන්ට ඒ මූල අංශූ තාරකාවෙහි ඇති බවට කිසි ම ආකාරයක වුව සෘජු අත්දැකීමක්‌ නැත.

අඩු ම තරමින් අවුරුදු විස්‌සක පුහුණුවක්‌ ලැබූ අයකු යම් යම් ප්‍රවාද මත පදනම් වෙමින් ලබාගන්නා නිරීක්‍ෂණ නැවතත් ප්‍රවාද මත පදනම් වෙමින් විවරණය කිරීමෙන් ලබාගන්නා වක්‍ර අත්දැකීම් පිළිගැනීමට අපි පුරුදු වී සිටිමු.

නිවැරැදිව කිව හොත් අපි පුරුදු කරනු ලැබ ඇත්තෙමු. එහෙත් ඇතැමුන් සෘජුව අමනුෂ්‍යයන් ගැන ලබාගන්නා අත්දැකීම් විද්‍යාත්මක නො වේ යෑයි කියමින් ඒ ප්‍රතික්‍ෂේප කිරීමට අප බොහෝ දෙනකුට තත්පර දහයක්‌වත් ගත නො වේ. එලෙස ප්‍රතික්‍ෂේප කරන්නන් තමන් කරන්නේ කුමක්‌ දැයි දන්නේ යෑයි අපි සිතමු ද?
ඔවුහු ඉතා පැහැදිලිව බටහිර ක්‍රිස්‌තියානි යටත් විජිතවාදයට ගොදුරු වූවෝ වෙති. තමන්ට බටහිරයන් හා ඔවුන් ගේ අනුකාරකයන් කියා දී ඇති අන්දමට ඔවුහු අර අමනුෂ්‍යයන් පිළිබඳ අත්දැකීම් ලත් අය ගෙන් ඒ සියල්ලන්ට ම පොදු වූ අත්දැකීමක්‌ ද, නැත්නම් එලෙස පොදු අත්දැකීම් බවට පත් කර ගත හැකි ද ආදී විකාර ප්‍රශ්න අසති. මොවුන් ගෙන් කිසිවකුට වත් බටහිර විද්‍යාඥයන් ගෙන් එවැනි ප්‍රශ්න ඇසීමට එළඹවාගත හැකි සිහියක්‌ නැත. බටහිර විද්‍යාඥයන්ට පමණක්‌ නො ව විද්‍යා ප්‍රබන්ධකයන්ට ද එවැනි ප්‍රශ්න යොමු කළ යුතු වන්නේ අප වැනි රටවල විද්‍යා ප්‍රබන්ධකයන් ද විද්‍යාඥයන් ලෙස පිළිගැනීමක්‌ ලබාගෙන ඇති බැවින් නො ව මේ සියලු අනුකාරකයන් ම හෙළිදරව් කළ යුතු බැවිනි. අනෙක්‌ පැත්තෙන් කිසිවකුට තමා සතු සමාජයීය බලය තම මතිමතාන්තර ප්‍රකාශ කිරීම සඳහා ආයුධයක්‌ කරගැනීමට ඉඩ දිය නො හැකි ය. ඇතැමුන්ට සෘජුව අමනුෂ්‍යයන්, මිථ්‍යාදෘෂ්ටික දෙවි දේවතාවුන්, සම්‍යක්‌ දෘෂ්ටික දෙවි දේවතාවුන් ආදීන් සමඟ සෘජුව සම්බන්ධකම් පවත්වන්නේ කෙසේ ද? බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව නම් ඔවුහු මානසිකව විවිධ විකෘතීන්ට ලක්‌ වූවෝ වෙති. බටහිර විද්‍යාවට තේරුම් ගැනීමට නො හැකි වූ ප්‍රපංචයක්‌ විකෘතියක්‌ ලෙස හැඳින්වීමට බටහිර විද්‍යාඥයන්ට අධිපතිවාදී බලයක්‌ ලබා දී තිබීම මෙහි දී කැපී පෙනෙන ලක්‍ෂණයයි. බටහිර විද්‍යාවට එවැනි බලයක්‌ ලබා දී ඇත්තේ බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතිය බව පැහැදිලි ය. එයට හේතුව බටහිර විද්‍යාව ද යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි ම උපත ලද්දක්‌ වීම ය.

තමන්ට අදෘශ්‍යමාන ජීවීන් සමඟ සම්බන්ධකම් ඇතැයි පවසන බොරුකාරයන් ද සිටිය හැකි ය. එහෙත් එයින් කියෑවෙන්නේ ඇත්තට ම එලෙස සම්බන්ධකම් පවත්වන පුද්ගලයන් නැත යන්න නො වේ. බටහිර විද්‍යාඥයන් ඉල්ලා සිටින්නේ ඔවුන් ගේ අත්දැකීම් පොදු අත්දැකීම් බවට පත් කරන ලෙස ය. එසේ කියමින් ඔවුහු ඕනෑ ම අයකුට බටහිර විද්‍යාවේ අත්දැකීම් ලබාගැනීමට හැකි බව ප්‍රකාශ කිරීමට ද අමතක නො කරති.

එහෙත් මෙහි දී ඔවුන් අමතක කරන කරුණ නම් ඕනෑ ම අයකුට බටහිර විද්‍යාවේ අත්දැකීම් ලබාගත නො හැකි බව ය. එක්‌ පැත්තකින් අප කලින් සඳහන් කළ පරිදි බටහිර විද්‍යාවේ අත්දැකීම් ලබාගැනීමට පුහුණුවක්‌ ලද යුතු ය. ඒ පුහුණුවට අවුරුදු විස්‌සක පමණ කාලයක්‌ ගත වෙයි. එවැනි පුහුණුවක්‌ ලබාගැනීමට හැකි කී දෙනෙක්‌ සමාජයේ වෙත් ද? අනෙක්‌ අතට බටහිර විද්‍යාවේ වියුක්‌ත ප්‍රවාද කී දෙනකුට තේරුම් ගත හැකි ද? විශේෂයෙන් ම ඉතා වියුක්‌ත විෂයයක්‌ වූ බටහිර සෛද්ධාන්තික භෞතික විද්‍යාව ඉගෙන ගැනීමේ හැකියාව ඇත්තේ කී දෙනෙකුට ද?

පාසලේ දී විද්‍යා විෂයයන් අත් හැර කලා විෂයයන් ඉගෙන ගන්නා දක්‍ෂ ශිෂ්‍යයෝ වෙති. ඔවුන්ට විද්‍යා විෂයයන් අප්‍රිය වන්නටත්, කලා විෂයයන් ප්‍රිය වන්නටත් හේතුව කුමක්‌ ද? බටහිර විද්‍යාවේ වියුක්‌ත බව වැඩි වීම හේතුවෙන් ඇතැම් සිසුනට ඒ ගෝචර නො වේ. ජෛවීය විද්‍යාවන් හදාරන බොහෝ සිසුන්ට භෞතික විද්‍යාව ඊනියා අමාරු විෂයයක්‌ වන්නේ ඒ සිසුන්ට ජෛවීය විද්‍යාවෙහි හා රසායන විද්‍යාවෙහි වියුක්‌ත බව දිරවා ගත හැකි නමුත් භෞතික විද්‍යාවෙහි වියුක්‌ත බව ගෝචර නො වන නිසා ය.

කලා විෂයය සංයුක්‌ත වීම හේතුවෙන් එතරම් වියුක්‌ත මනසක්‌, එනම් වියුක්‌ත සංකල්ප තේරුම් ගත හැකි මනසක්‌ නැති සිසුන්ට කලා විෂය පහසු වෙයි. අනෙක්‌ අතට කලා විෂයයන්හි පාඩම් කිරිමට බොහෝ දේ ඇති බැවින් හා ඒ සියල්ල මතක තබාගැනීම අසීරු හෙයින් කලා විෂයය අත්හරින්නෝ ද වෙති. සංයුක්‌ත විෂයයන්හි වියුක්‌ත ප්‍රවාද නැති හෙයින් බොහෝ විට කරුණු එකින් එකට මතක තබා ගැනීමට සිදු වෙයි. ඇතැම් සිසුනට ඒ හිසරදයකි. ඔවුqහු එබැවින් කලා විෂයය අත්හරිති.

මෙයින් කියෑවෙන්නේ සිසුන් විෂය ධාරා තෝරා ගන්නේ හුදෙක්‌ තම තමන් ගේ දක්‍ෂතා හා රුචි අරුචිකම් මත බව නො වේ. එහි දී ආර්ථික හේතු, රැකියා ලබාගැනීම පහසු වීම ආදී විවිධ කරුණු බලපායි. ඒ කුමන හේතුවක්‌ මත විෂය ධාරා තෝරා ගත්තත් ඉහත සඳහන් අයුරින් මනස්‌ සකස්‌ වී නැත්නම් ඒ ඒ විෂය ධාරා ඉගෙන ගැනීමේ දී දුෂ්කරතාවලට මුහුණ පෑමට සිදු වෙයි.

මේ කරුණු සඳහන් කෙළේ විෂය ධාරා තෝරා ගැනීම පිළිබඳ පාඩමක්‌ කියා දීමට නො ව බටහිර විද්‍යාඥයන් පුරසාරම් දෙඩුව ද සියලු දෙනාට ම බටහිර විද්‍යාවේ අත්දැකීම් එක සේ ලබාගැනීමට නො හැකි බව පෙන්වා දීමට ය. පළමුවෙන් ම බටහිර විද්‍යාවන්a හැදෑරීමට සුදුසු මානසික තත්ත්වයක්‌ ඇති අයට පමණක්‌ ඒ විෂය හැදෑරිය හැකි ය. විශේෂයෙන් ම ඒ විෂය ගැඹුරින් හැදෑරීමේ දී අදාළ මනස අවශ්‍ය ම අංගයක්‌ බවට පත් වෙයි. දෙවනුව ඒ සඳහා පහසුකම් තිබිය යුතු ය. එයට පාසල්වල පහසුකම් මෙන් ම නිවසේ ආර්ථික පසුබිම ද අඩංගු වෙයි. තෙවනුව බටහිර විද්‍යාවේ අත්දැකීම් ලබාගැනීම සඳහා අවුරුදු විස්‌සක පමණ පුහුණුවක්‌ අවශ්‍ය වෙයි.
බටහිර විද්‍යාඥයන් බටහිර විද්‍යාවේ අත්දැකීම් සියල්ලන්ට ම ලබාගැනීමට හැකි යෑයි කියන්නේ මේ සියල්ල අමතක කර දැමීමෙනි. එවැනි ප්‍රකාශ කිරීමේ දී ඔවුන් ලබා ඇතැයි කියන ඊනියා විද්‍යාත්මක විධි ක්‍රමය කුමක්‌ දැයි ඔවුන් ම සලකා බලන්නේ නම් මැනැවි. මෙහි දී වඩාත් ම හාස්‍යජනක කරුණ වනුයේ බටහිර විද්‍යාව නො හදාරා බටහිර විද්‍යාවේ දර්ශනය හදාරා ඇතැයි කියන අය ද බටහිර විද්‍යාවේ අත්දැකීම් ඕනෑ ම අයකුට ලබාගත හැකි ය යන විකාර අදහස ප්‍රකාශ කිරීම ය. මේ බොහෝ දෙනකු එවැනි ප්‍රකාශ කරතත් ඔවුන්ට ද බටහිර විද්‍යාවේ අත්දැකීම් ලබාගත නො හැකි ය. ඔවුන් ඒ සඳහා පුහුණුවක්‌ ලබා නැති අතර එවැන්නන් බොහෝ දෙනකුට වියුක්‌ත බටහිර විද්‍යාවන් හැදැරීම සඳහා අවශ්‍ය ප්‍රමාණයට වියුක්‌ත මනසක්‌ ද නැත. එහෙත් ඔවුහු ද බටහිර විද්‍යාවේ ආධිපත්‍යයට යට වී බටහිර විද්‍යාඥයන් ගේ පුහු ප්‍රකාශ පුනරුච්චාරණය කරති.

ඉන්ද්‍රිය ගෝචර නො වන සත්ත්වයන් සමඟ සම්බන්ධකම් පැවැත්වීමට, ඔවුන් සමඟ සන්නිවේදනය කර ගැනීමට යම් ආකාරයක දියුණු මනසක්‌ අවශ්‍ය වෙයි. ඒ මනස සාංසාරික පුරුද්දක ප්‍රතිඵලයක්‌ විය හැකි ය. එසේත් නැතිනම් භාවනාවෙන් සිත දියුණු කිරීමේ ප්‍රතිඵලයක්‌ ලෙස එලෙස සම්බන්ධකම් ඇති කර ගැනිමට හැකියාව ලබාගන්නට ඇත. එවැනි තත්ත්වයකට පත් වීම සඳහා ද සුදුසු මනසක්‌ හා යම් කාලයක්‌ අවශ්‍ය වෙයි. බටහිර විද්‍යාඥයෝ තම තමන් ඒ ඒ විෂයයෙහි විශේෂඥයන් ලෙස සලකන්නේ අදාළ මනස හා පුහුණුව ඇති බැවිනි. බටහිර විද්‍යාවේ අත්දැකීම් ගෝචර වන්නේ මේ විශේෂඥයන්ට පමණකි. එහෙත් ඔවුහු බොරු ප්‍රජාතන්ත්‍රවාදයක්‌ ගැන කියමින් ඕනෑ ම අයකුට ඒ අත්දැකීම් ලබාගත හැකි යෑයි කියති. ඒ අතර ඉන්ද්‍රිය ගෝචර නො වන ප්‍රාණීන් සමඟ සම්බන්ධකම් පවත්වන්නන් එසේ කරන්නේ ඔවුන් ද අදාළ ක්‍ෂෙත්‍රයෙහි විශේෂඥයන් වීමෙන් පසු බව බටහිර විද්‍යාඥයෝ අමතක කරති. ඉතා ම ඉහළ ම ගණයේ බටහිර විද්‍යාඥයකුට වුව ද අදාළ මනස හා පුහුණුව නැත්නම් ඉන්ද්‍රිය ගෝචර නො වන ප්‍රාණීන් සමඟ සම්බන්ධකම් පැවැත්විය හැකි නො වේ. බටහිර විද්‍යාඥයන් ඕනෑ ම අයකුට තම ක්‍ෂෙත්‍රයෙහි අත්දැකීම් ලබාගැනීමට නො හැකි බව දැන දැන ද අනෙක්‌ ක්‍ෂෙත්‍රවල අත්දැකීම් සියල්ලන්ට ම විවෘත විය යුතු යෑයි කීම මොන තරම් මගඩියක්‌ ද?

මහාචාර්ය නලින් ද සිල්වා 
 
http://lakpedia.go-board.com/t13-topic
Back to top

No comments:

Post a Comment

Free HTML Blog 4u