විද්‍යාව හා බුදු දහම බ්ලොග් අඩවියට පිවිසි ඔබ සාදරයෙන් පිළිගනිමි. හිතවත, සියලු ආගම් එකයැයිද, සියල්ලෙන්ම කියැවෙන්නේ හොද නරක පමණක් යැයිද, අපායත් දෙව්ලොවත් ඇත්තේ මෙලොව යැයිද අඥාන මිනිසුන් විසින් වහසි බස් දොඩනු අප අසා ඇත. සියලු දේ විද්‍යාවෙන් මනින්නටත් විද්‍යාව, වන්දනා කිරීමටත් විද්‍යාව යන වචනයෙහි තේරුමවත් නොදත්තෝ උත්සාහ කරති. පාලුගෙයි වළං බිදින ලෙසින් ආගම දහම ගැන කිසිවක් නොදත් අ‍නෙක් මිනිසුන් මුව අයා බලාසිටිමින් ඔවුන් වීරයන් කරති. පොත පතක් කියවා අබ ඇටයක් තරමින්වත් මනස වර්ධනය කරගත්තවුන් සිටීනම් මෙවන් අනාර්ය වූත් අනර්ථ වූත් කතිකාවන් නොකරති. විද්‍යාව යනු බුදු දහම ඉදිරියේ හිමාලය අසල ඇති අබ ඇටයක් තරම්වත් නොගිණිය හැකි ශිල්පයක් බව දහම අවබෝධ කරගත්තෝ දනිති. යමක් විද්‍යාවෙන් ඔප්පු නොවන්නේ විද්‍යාව දුර්වල නිසා මිස බුදු දහමේ අඩුවක් නිසා නොවේ. එහෙත් පහත් මානසිකත්වය ඇත්තන්ට සත්‍යය දැනගනු වස් මෙවන් වෙබ් පිටුවක් නිර්මාණය කලෙමි. බුද්ධිමත් ඔබද මෙ කියවා සත්‍යය දැකගන්න. මෙහි ඇත්තේ උපුටාගත් ලිපිය. එය උපුටා ගත් ස්ථානය ඒ ඒ ලිපිය අවසානයේ පැහැදිලිව සටහන් කර ඇත. විද්‍යාව හා බුදු දහම සම්බන්ධව ලියැවුන ලිපි එක්තැන් කිරීම මෙහි අරමුණ වේ.

Wednesday, January 11, 2012

විශ්වයේ ඉමටත් එහා යන ගැඹුරු දහමෙන් බිඳක්‌


මෙයට වසර දෙදහස්‌ තුන්සිය විසි අටකට පෙර මිහිඳු හාමුදුරුවන් විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලද බුදු දහම ඉන්දියාවෙන් අපට ලැබුණු හොඳම තෑග්ගයි. ඉන්දියාව සමග හටගත් ඇතැම් මතභේදවලදී මේ උතුම් ත්‍යාගය ගැන සිහිපත් කළේ නම් අපට සිත සනසා ගන්නට ඕනෑ තරම් ඉඩ තිබිණි. කෙසේ වුවද බුදු දහම වූ කලී පෙරදිග විසින් මුළු ලෝකයාට දෙනු ලැබූ අති උත්කර්ෂවත් දායාදය ය. දැඩි ආගමික නීතිරීතිවලින් බැතිමතා සිද්ධස්‌ථානයට බැඳ නොතබන දර්ශනයක්‌ වන බුදු දහම අද වනවිට යුරෝපය වෙත ද පැතිර ගොස්‌ තහවුරු වී තිබේ. මේ පිරිසිදු දහම සුරකින්නාට තමන්ගේ ආරක්‍ෂාව නිරායුධවම තමන්ට සලසා ගත හැකි ය. ඒ ධර්මයෙහි හැසිරීමෙනි. බුදු දහම යනු, පුරුදු පුහුණු කරන ලද කල්හි ඉතා සරල ලෙස අනුගමනය කළ හැකි ගැඹුරු ධර්මයකි. කිසිදු බැඳීමක්‌ නැති ඒ දහම සංසාරය කෙරෙහි ඇති මිනිස්‌ බැඳීම අතහැර තව තවත් දුක්‌ විඳීමේ මඟ වන යළි යළිත් ඉපැදීමේ ආධ්‍යාත්මික සහ භෞතික ක්‍රියාවලිය නතර කර දෙයි.

රටක්‌ හැටියට හැදෙනවා නම් අපට හැදෙන්නට බුදු දහමෙන් උපදින සාරධර්ම සමූහයම ඇති. නිවන් මඟට අවතීර්ණ වනු පිණිස මෙන්ම ගිහි දිවි මඟෙහි යන ගමන සාර්ථක කරගනු පිණිස ද කදිම උපදෙස්‌ බුදු දහමෙහි තිබේ. සාමාන්‍ය ගිහියාට පන්සිල් පද පහ රැකීමෙන් සාර්ථක ජීවිතයක්‌ උදා කර ගත හැකිය. ඊටත් ස්‌වල්පයක්‌ ඉදිරියට යැමට කැමැති ජනයා උදෙසා අට සිල් ඇත. ඉනුත් ඔබ්බෙහි ගොස්‌ සංසාර ගමන කෙටි කර ගැනුමට උත්සාහ දරන්නාට දස සිල් තිබේ. භික්‍ෂුත්වය නිවන් මඟෙහි යන ගමන පහසු කරවයි. සුසිල්වත් භික්‍ෂුවට අමතරව "චීවරධාරීහු ද" අප සමාජයේ වැඩ වසති. ඒ චීවරධාරීන්ට ඕනෑම විටෙක චීවරය දෙහි ගසක වනා සංසාර ගමන දිගු කර ගැනීම සඳහා කුටුම්භ සංරක්‍ෂණයෙහි යෙදිය හැක.

බුදුන් වහන්සේ විසින් දෙසා වදාරන ලද, ඕනෑම විද්‍යාවක්‌ මගින් ඔප්පු කළ හැකි ධර්මස්‌කන්ධය වූ කලී ලොව එතෙක්‌ මෙතෙක්‌ බිහි වූ උතුම්ම ශාස්‌ත්‍රයයි. විශ්වයේ සහ සෞරග්‍රහ මණ්‌ඩලයේ සම්භවය ගැන කියෑවෙන, නූතන විද්‍යාත්මක "තියරියක්‌" වන මහා ස්‌ඵෝඨන වාදය හෙවත් "බිග් බෑං තියරිය" සප්ත සූර්යෝද්ගමන සූත්‍රය මගින් සවිස්‌තරාත්මක ලෙස විග්‍රහ කිරීමට මෙයට වසර 2500 කට පෙර භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේ වග බලාගත්හ. විශ්වය පරයා යන උන්වහන්සේගේ ගුණ සම්භාරය ගැන විස්‌තර කෙරෙන මේ කුඩා කතාව කියවන්න.

බුදුන් වහන්සෙගේ කාලයෙහි මාතු නමැති මානවකයෙක්‌ දඹදිව විසීය. බුදුන් බණ දෙසනු අසන්නට නිතර පැමිණි මේ මානවකයා උන්වහන්සේගේ විද්‍යා දැනුම ගැන මහත් සේ පැහැදී විශ්වය ගැන තේරුම් කරන ලෙස ඉල්ලා සිටියේය. නිර්වාණ සම්පත්තිය අත්පත් කර ගැනීම සඳහා කෙටි මාර්ග ඇති බවත් විශ්වය ගැන සෙවීමට ගත කරන කාලය අපතේ යන කාලයක්‌ බවත් දෙසා වදාළ බුදුහු මානවකයාගේ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළහ. එවිට බලවත් සේ නොඉවසිලිමත් වූ මාතු බුදුන් වහන්සේ තම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කරන්නේ නම් ඡේතවනාරාමය ඉදිරිපිට මාරාන්තික උපවාසයක්‌ අරඹන බව කීවේලු· ඡේතවනාරාමය ඉදිරිපිට මාතු මළොත් ප්‍රායෝගික ප්‍රශ්නයක්‌ පැන නඟී. එය හේතුවක්‌ වෙම්වා, නොවෙම්වා බුදුහු මාතුට විශ්වය ගැන කියා දීමට එකඟ වූහ. මේ දේශනය ලේඛන ගත කිරීම සඳහා ගැල් සිය ගණනකින් තල්පත් ගෙන්වන ලද බව කියෑවේ.
බුදුහු සිය දේශනාව පරමාණුවෙන් පටන් ගත්හ. පරමාණුව ඒ තුළ ඇති තවත් කුඩා අනුවලට කැඩූ බුදුන් වහන්සේ එතැන් සිට විශ්වය පිළිබඳ විද්‍යාත්මක නිර්වචනය ඉදිරිපත් කරන්නට වූහ. එය නිම වීමට තුන් මසක්‌ ගත වීලු·

මේ මහා ධර්මස්‌කන්ධය අද අප සතුය. එයින් ප්‍රයෝජන නොගන්නා අපි ස්‌ථිර වශයෙන් ම මෝඩයෝ වෙමු.


http://www.divaina.com/2010/06/25/editor.html

No comments:

Post a Comment

Free HTML Blog 4u